Policy Uncertainty, Raising FDI, Promoting Business – Interview in Sinhala to යුක්තිය (‘Yukthiya’)

This is Part 2 of a recent interview I gave to a Sinhala language current affairs website, යුක්තිය (‘Yukthiya’). It is originally published here http://yukthiya.lk/3577-2/

පසුගිය කොටයේ අවසානයෙන් සාකච්ඡාව ආරම්භ කරන්නේ නම් උදාහරණයක් ලෙස මගේ මිතුරෙක් මොබයිල් පේමන්ට් ඇප් එකක් සංවර්ධනය කළේ ය. ලංකාවේ මහ බැංකුවේ දැනට තිබෙන නීති රිති නිසා ඒ ආයතනය අපේ රටේ පිහිටුවන්නට අපහසු විය. ඊට පසු එම මිතුරා සිංගපූර්වට ගොස් ඒ ආයතනය එම රටේ ආරම්භ කළේ ය. ඒ ඒ වෙළඳ ආයතනය මේ රටේ ලියාපදිංචි වි තිබෙන්නේ. නමුත් ඉහත ප්‍රශ්නය නිසා ඒකට බදු ගෙවන්නේ සිංහපුර් රජයට ය. ඒ වගේ වෙළඳ ව්‍යාපාරයක් ලංකාවේ තබාගන්නට නොහැක. ඒ උදාහරණය ගත්තාම අපිට පෙනෙනවා තොරතුරු තාක්ෂණය අංශයේ එවැනි ව්‍යාපාර මේ රටේ බොහෝ ඇති බව. ඒ වාගේ ම ජාත්‍යාන්තර ජංගම ව්‍යාපාර ද මේ රටේ ඕනෑ තරම් තිබේ. මේවා වෙනත් නිෂ්පාදන මෙන් නොව ලෝකයේ වෙනත් රටක ස්ථාපිත කළහැක. නමුත් ඒ ක්ෂේත්‍රයෙන් බදු අය කරන ක්‍රමවේදයන් ඉතාම සුක්ෂම ය. මා පෙර සඳහන් කළ ආකාරයට ලංකාවේ පුළුල් වි තිබෙන්නේ 60%ක්ම සේවා අංශය නම් ඒ ක්ෂේත්‍රයෙන් බදු අයකරන ක්‍රමවේද තවම දියුණු වී නැති බවයි මට පෙනෙන්නේ. ඒක අද මේ බදු දැළ පුළුල් කරන්නට නොහැකි වීමේ ප්‍රශ්නයක් ලෙස පවතී. පෙර මෙන් සෘජු ලෙසම අතට අසුවෙන දේ පමණක් අපි නිෂ්පාදන කළේ නම් මා ඉහතින් සඳහන් කළ ආකාරයට ඒවාට බදු පැනවීම අපහසු නොවේ. දැන් අපේ ආර්ථිකයේ විශාලතම අංශය සේවා අංශය නම්, ඒ අංශයෙන් බදු අය නොකරන්නේ නම් බදු දැල පුලුල් වන්නේ කෙසේ ද? මේ අංශයෙන් බදු එකතු කිරීම අමාරු වන්නට පුළුවන් වන නමුත් වහාම ඒ අංශය මේ බදු දැළට ඇතුල්කරගත යුතු ය.


නමුත් මේ අංශයේ සමහර උප කුළකයන්ගෙන් බදු අය නොකරන්නේ අමාරු නිසා ම නොවේ. බොහෝ විට මේ අංශයට බොහෝ දිරිගැන්විම් ලබා දී ඇත. යුද්ධය අවසන් ව වසර 6ක් පමණ ගතවී ඇත. යුද්ධ කාලය තුළ දී මේ අංශයෙන් බදු අය නොකර දිරිගැන්වීම් කිරීම වැරදි යැයි කියන්නට නොහැක. නමුත් ඒ කාලයේ සීඝ්‍රයෙන් වර්ධනය වු ක්ෂේත්‍රය තමයි හෝටල් සහ රෙස්ටොරන්ට් ක්ෂේත්‍රය. ඒ ක්ෂේත්‍රයේ 16%ක වර්ධන වේගයක් ඇත. බොහෝ දුරට ඒ හෝටල් ක්ෂේත්‍රයේ ආයතන බදු වලින් නිදහස් ය. ඒ කාලයේ බදු නිදහසක් ඒ අය ටදීම සාධාරණ නමුත් දැන් මේතරම් ත්‍යාගශීලි බදු සහන දෙන්නට අවශ්‍ය නැති බවයි මට පෙනෙන්නේ. වෙනත් රටවල යන දිසාව තමයි ඒ රටේ කුමක් හෝ දේශපාලන හෝ වෙනත් ප්‍රශ්නයක් තිබෙන කාලයක ත්‍යාගශීලි බදු සහන ලබාදීම. ඊට පසු ඒ තත්ත්වය පහව ගියාට පසු ඒ බදු සහන අඩුකරන අතරම විදේශ ආයෝජකයින් ගෙන්වා ගැණිමට අවශ්‍ය නිසා බදු ප්‍රතිශතය තරගකාරි මට්ටමට අඩුකර ඒ බදු අය කිරීමට අමතරව ආයතනයක් පිහිටුවීමට හා කරගෙන යන්නට තිබෙන බාධක ඉවත් කිරීම. මා ඉහතින් සඳහන් කළ අර රුපියල් 6000ක් ගෙවන්නට වන ආකාරයේ ගෙවීම් එවැනි බාධකයන්ට උදාහරණයකට ගත හැක. යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, වෙළඳ ව්‍යාපාරයක් විවෘත කිරීමේ පහසුතාවයන් ඇති කිරීම මෙන්ම කරදරකාරි පාලන ක්‍රම නැතිකර සාමාන්‍යයෙන් ආයතනයක් කරගෙන යන්නට පහසුකම් සැළැස්විය යුතු වේ. මෙහිදි බදු ප්‍රතිශතය අඩු කිරීම වැදගත් ය. නමුත් බදු සහන ප්‍රධානය කරන්නේ නැත. ඒ තත්ත්වය ව්‍යවසායකයෙකුට ව්‍යාපාරක කටයුත්තක් ආරම්භ කිරීමට යහපත් පරිසරයක් බව කිවයුතුව ඇත.
අපේ ප්‍රශ්නය වී තිබෙන්නේ ඒවා සකස් කරන්නේ නැති, වසර ගනනාවක් තිස්සේ මේ පැත්තේ තියෙන ප්‍රශ්න හරියට ම නිරාකරන්නේ නැතිව පහසුම ආකරයට බදු එකතු කිරීමට යොමුවීම. අර රථවාහන වලට බදු අයකරනවා වැනි සම්ප්‍රදායික ක්ෂේත්‍රයෙන් බදු එකතු කරනවා වැනි ආකාරයට මේ ක්ෂේත්‍රයෙන් බදු අය කිරීම පහසු නැත. රට පුරාම ඇති ආයතන ඇතුලත් කරගත යුතුව තිබේ. ඒවා කරන්නේ නැතිව අද කරන්නේ බදු සහන දෙන එක ය. ලංකාවට එන විදේශ ආයෝජකයින් වැඩි හරියක් එන්නේ අර බදු සහනය නිසා ය. ඒ බදු සහන කාලය අවසන් වූ පසු බොහෝ දුරට ඔවුන් මෙහෙ රැඳෙන්නේ නැත.
බදු සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදකයින් මේ වෙනස් කම් ඇති කිරීමට යොමු නොවන්නේ ඇයි ද යන්න මී ලගට සළකා බැලිය යුතුව ඇත. මේ සඳහා බලපාන පැතිකඩ කිහිපක් ම තිබේ. එකක් තමයි සමහර ඒවා කරන්නට දේශපාලන පැත්තෙන් අමාරුකම් තිබීම. දැන් දේශපාලකයින් වැඩි දෙනෙක් කියන්නේ ලංකාවේ කම්කරු නීති, ව්‍යාපාරිකයින් දිරි ගන්වන ඒවා නොවන බව ය. ඒවා වෙනස් කිරීමට යෑමේ දී වෘත්තිය සමිතිවලින් එන බලපෑම ඉතා විශාල ය. එය නොසළකා වෙනස් කරන්නට ගියහොත් විශාල දේශපාලන ප්‍රශ්නයක් ඇතිවීමට පුළුවන. තවත් තියෙන බාධාවක් තමයි නොදැණවත්කම ම නොවන නමුත් මේ රටේ නීති රීති හා රෙගුලාසි ව්‍යවසායකත්වයට සෟජුව හෝ වක්‍රව අහිතකර බලපෑමක් වෙනවා කියන එක ගැන ඇති නොදැණුවත්කම. මේක නිකම් ම ප්‍රශ්නයක් නොව රට පුරා ඇති ව්‍යවසායකත්වයට හානියක් වනවාය යන්න මේ අයට තේරෙන්නේ නැත. අර ඉහතින් සඳහන් කළ, වසරක් පතා රුපියල් 6000ක් රජයට ගෙවිය යුතු ප්‍රශ්නය යන කාරණය උදාහරණයකට ගතහැක. එයින් කර තිබෙන්නේ බදු වැඩි කරන්නේ නැතිව වක්‍ර ආකාරයට ගෙවීමක් කරන්නට නියම කිරීමකි. එයින් ව්‍යවසායකත්වයට වෙන නිෂේධනාත්මක බලපෑම ගැන බොහෝ දුරට දැණුවත් කමක් බලධාරින්ට නැත. මා කිහිප වතාවක්ම මේ සම්බන්ධයෙන් රජයේ ආයතනවලට සමග කථාකර තිබේ. දිගු කාලන ව ව්‍යවසායකත්වයට මේකෙන් වෙන බලපෑම ගැන ඇත්ත වශයෙන්ම ඒ අයට අවබෝධයක් නැත. මේක එක පැත්තකින් නොදැනුවත් කමක් තමයි හැබැයි ඒ නොදැනුවත්කම තියන්නේ පටු ප්‍රතිපත්තිය ගැන නොව මුලු ආර්ථිකයට වන බලපෑම ගැන ය. ඒක තමයි දෙවැනි ප්‍රශ්නය.
අනික් ප්‍රශ්නය වන්නේ මේ බදු සංශෝධනය කිරීම හා ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැතිවී ම. ඒක විශාල ප්‍රශ්නයක් වි තිබේ. දැන් මේ සඳහා වෙළඳ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කමිටුවක් පත්කර තිබේ. රජයේ ඉහළම තලයේ නිළධාරින් තමයි මේකට පත්කර තිබෙන්නේ. හැබැයි ඒකට අදාළ ආයතන දෙස බැලූවිට මේ වෙනස්කම් කරන්නේ කොහොම ද යන්නේ යන්න මට ප්‍රශ්නයකි. මේකට සම්බන්ධ අමාත්‍යාංශ ගණනාවක් තිබේ. ඒ අමාත්‍යාංශ මෙන්ම රජයේ ඒජන්සි ද මේකට ඇතුලත් ය. මේකට පාස්කරලිංගම් මහත්මයා සම්බන්ධ ය. නමුත් සමස්ථ සංශෝධනයට ම වගකියන ආයතනය කුමක් ද? ප්‍රධානියා කවුද යන්න හරියටම පැහැදිළි නැත. නමුත් මේක භාරව වැඩකරන්නේ පාස්කරලිංගම් ය. නමුත් ප්‍රතිසංස්කරණය කර ගැනීමට අපහසු තත්ත්වයක් තමයි දැනට තිබෙන්නේ.
මම හිතන්නේ බොහෝ දුරට ලෝක බැංකුව මේක සංශෝධනය කළයුතු ආකාරය හා වෙන රටවල කර තිබෙන ආකාරය පිළිබඳ උපදෙස් දී තිබේ. කළයුතු ප්‍රතිසංස්කරණ කුමක් ද යන්න විශාල ලැයිස්තුවක් ද ලබා දී ඇත. ඒකට අයත්වන ආයතන සහ අමාත්‍යාංශ ගණන ද විශාල ය. මේක ආරම්භ කරන්නේ කොතනින් ද යන්නයි දැන් ඇතිවි තිබෙන ප්‍රශ්න ය. මට දැනෙන ආකාරයට මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කොතන හෝ තැනක සිර වී තිබේ. ඒ අතරම සමහර දේවල් කෙරීගෙන යන බව ද කියන්නට පුළුවන. මේක අළුත් දෙයක් නොව වසර ගණනාවත් තිස්සේ එන අවුලක් නමුත් මම හිතන්නේ දැන් ඒක උග්‍රවී තිබේ. නමුත් මේක කෙරෙහි බරපතල ලෙස රජයේ අවධානය යොමු වී ඇත. මේ කාරණය සම්බන්ධයෙන් වසර ගණනාවක සිට මා සම්බන්ධ වී සිටිමි. මේ කෙරෙහි අවධානය මීට පෙර මේතරම් යොමු වි තිබුණේ නැති බව පමණක් මට කියන්නට පුළුවන. ඒ නිසා මේක කිරීමේ වටිනාකම ප්ිළිබඳ මේ ආණ්ඩුවට අවබෝධ වී ඇති බව පෙනේ. ඒත් මේ ප්‍රතිසංස්කරණය කරන්නේ කොහොම ද, කොතනින් ද පටන් ගන්නේ යන්න ගැන තීරණයක් තවමත් නැති බවයි පෙනෙන්නේ.
දැන් මේ බදු ප්‍රතිසංස්කරණ ආණ්ඩුව ඇතිකර ගැනීමට අදහස් කරන වෙළඳ ගිවිසුම් වලට බලපාන් ආකාරය ඊ ළගට අපි සාකච්ඡා කරමු. මට පෙනෙන ආකාරයට මේක බලපාන පැති දෙකක් ඇත. රටේ වෙළඳ පරිසරය හොඳ නැතිනම්, බදු පිලිබඳව අවිනිශ්චිතභාවයක් ඇත්නම්, රටේ ආර්ථිකය මෙහෙයවන ආකාරය ගැන අවිනිශ්චිත නම් ඕනෑ ම රටක ව්‍යවසායකත්වයට අමාරුයි අලුත් දේවල් ගැන හිතන්නට. මෙවැනි නිෂේධනාත්මක පරිසරයක් තුළ නවෝත්පාදන වෙළඳ පොලවලට ඉදිරිපත් කිරීමට ව්‍යවසායකයින් සිත යොමුකරන්නේ නැත. වෙළඳ ගිවිසුමකින් වාසිගෙන අපනයනය කරන්නට ඒක බාධාවක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නොවේ. අපිට දැනටත් පෙනෙනවා ඉතාමත් තරගකාරි බොහෝ ආයතන ඊ ළගට සිදුවෙන් කුමක් ද යන්න බලා සිටී. මේ බදු සම්බන්ධයෙන් ඉදිරියේ දි ගන්නා ක්‍රියාමාර්ගය කුමක් ද?, ප්‍රාග්ධන බද්ද එනවා ද?, වැට් බද්ද තවක් වැඩි වනවා ද? මොන අංශවලට ද ඒ බද්ද එන්නේ යන අවිනිශ්චිතතාවය ව්‍යවසායකයන් තුළ තිබේ. මේ ප්‍රතිපත්ති අචිනිශ්චිත බව තමයි දැන් තියෙන ගැටලුව බව අපි පෙන්වා දී තිබේ. මේ අවිනිශ්චිත බව නැති කිරීම පුද්ගලික අංශයට ඉතාමත් අත්‍යවශ්‍ය දෙයකි. ඒ වගේ වාතාවරණයක් තිබෙන විට හරි අමාරුයි අලුත් ඒවා ගැන හිතන්නට. එතකොට විශාල පිංතූරය ගැන හිතන්නට බැරි ආයතනවලට, වෙළඳ ගිවිසුම් සුදුසු නැති බව හිතන්නට පෙළඹෙවීමක් ඇති කෙරේ. ලංකාව අලුත් වෙළඳ පොලවල් වලට අරින එක සුදුසු නැති බවයි එවිට ඔවුන් කල්පනාවට ගන්නේ. රටේ දැනට තිබෙන වෙළඳාම ද පරිසරය හොඳට සැකසි නැත්නම් අලුත් එකක් විවෘව වූ පසු අපි කොහොමද තරගකාරි වන්නේ යන සැකය ඔවුනට මතු වේ. හැබැයි පෞද්ගලික බොහෝ ආයතන ගෝලීය වශයෙන් ඉතාමත් තරගකාරී බව මට කියන්නට පුළුවන. මේ වගේ වෙළඳ ගිවිසුම් ඇති කළොත්, ආයතන ගණනාවකටම ඉතාමත්ම ඉක්මනින් ඉහළම තලයට යන්නට හැකියාව තිබේ. ගෝලියකරණය නිසා අලුත් වෙළඳපොලවලට ගොස් මේවාට ගෝලීය වෙළඳාමට ඇතුල්විය හැක. හැබැයි ඒකට වෙළඳ ගිවිසුම් විතරක් ප්‍රමාණවත් නැත. මේ දේශිය වෙළඳ පරිසරය ද එයට සරිලන සේ සකස්විය යුතු ය.
අනික් පැත්තෙන් මට පෙනෙන්නනේ මං පෙර කියූ ප්‍රතිපත්ති සකස් වන්නේ කොතන ද ? කෙසේ ද? යන්න පෞද්ගලික අංශයේ ආත්ම විශ්වාසයට බලපානු ලැබේ. මේ වගේ වෙළඳ ගිවිසුම්වලට යෑමේ දී ශ්‍රි ලංකාව් වෙළඳ ප්‍රජාවේ අභිලාශයන් වලට යහපත් ලෙස ප්‍රතිචාර දක්වන්නට හැකි ද යන්න ඉතා වැදගත් ය. රජය පැත්තෙන් දන්නවා ඇති මේක කෙරෙන්නේ කාහොම ද යන්න. නමුත් වෙළඳ ප්‍රජාවේ පැත්තෙන් අපිට පෙනෙන්නේ මේ පිංතුරය කොටස් පමණි. ඒ කැලි කැලි ලෙස තිබෙන පිංතූරය නිසා මේ වෙළඳ ගිවිසුම් වලින් එන ප්‍රතිලාභය ගැන පෞද්ගලික අංශයට අවබොධ කරනීමට බාධාවක් ලෙස පවතී. එය වෙළඳ ගිවිසුම් කෙරෙහි අනවශ්‍ය බියක් ඇති කිරීමට ද හේතු වී තිබේ.
මගේ අවසාන පණිවිඩය තමයි වෙළඳ ගිවිසුම් අත්සන් කළ යුතුයි යන්න. අපේ ආයතනවලට වෙනත් රටවලට යන්නට මග පාදාගත යුතුයි. ඒ සමගම ලංකාව ඇතුලෙත් වෙළඳාම් කරගෙන යන්නට තිබෙන බාධක ඉක්මනින්ම නිරාකරණය කරගන්නට අවශ්‍ය ය. ඒ ක්‍රියාකාරත්වය වෙළඳ ප්‍රජාව සමග සාකච්චාකර කළයුතුය. නැතිව, මහා පිංතූරය නැතිව ප්‍රතිසංස්කරණය කොටස් ලෙස පෙනෙන්නට හැරියොත්, පෞද්ගලික අංශයට අනියත බියක් ඇතිවේ. ඒ බිය නැතිකළ හැක්කේ ඉහත සඳහන් ආකාරයට ඒ ප්‍රතිසංස්කරණ සමස්තයක් ලෙස පෙනෙන්නට සැලැස්වීමෙනි.

Leave a comment