Tax Troubles – Interview in Sinhala to යුක්තිය (‘Yukthiya’)

I recently gave an interview on Sri Lanka’s continuing tax troubles, and the impact on the economy, to a Sinhala language current affairs website, යුක්තිය (‘Yukthiya’). I reproduce it in full here (Part 1), with due credit to where it is originally published here – http://yukthiya.lk/ද-දේ-නි-ප්%E2%80%8Dරතිශතයක්-ලෙස-කි/

අප රටේ බදු වැඩි කිරීම පිළිබඳව අප සමාජයේ සාකච්ඡාවක් ඇත. බොහෝ විට මේ සාකච්ඡාවට දේශපාලන අභිලාෂයන් මුසුවීම වැළක්විය නොහැක. එහෙයින් බදු වැඩිකිරීම හා අඩු කිරීම ගැන සාකච්ඡා කරන්නට ප්‍රථම, මා කල්පන් කරන්නේ වෙනත් තැනකින් මේ සාකච්ඡාවට ප්‍රවේශවීම යෝග්‍ය බව ය. ඒ අනුව දළ ජාතික නිෂ්පාදිතය ප්‍රතිශතයක් ලෙස ලංකාවේ බදු ප්‍රතිශතයේ ප්‍රමාණ කොපමණ ද යන්න ප්‍රථමයෙන් අපි ආරම්බ කරමු. කුමන ආකාරයට බදු අඩු වැඩි කළත් ලංකාවේ වසර ගණනාවක් තුළම දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව බදු ප්‍රතිශතය අඩු වී තිබේ. ආර්ථික විශේෂඥයින් කිහිප දෙනෙක්ම පවසා තිබෙන්නේ මෙය ලෝකයේ කිසිම රටක සිදු නොවූ ආකාරයේ අඩුවීමක් බව ය. සාමාන්‍යයෙන් රටක ආර්ථිකයක් නැතිනම් ආර්ථික කටයුතු පුළුල්වන විට ඒ රටේ ආදායම් බදු දෙපාර්තමේන්තුව එකතුකරන බදු වෙන කිසිම රටක නොවන ආකාරයට අඩුවී තිබෙනවා නම් ඒකට හේතුව කුමක් ද යන්න ප්‍රථමයෙන් බැලිය යුතු ය. ඒ අනුව අලුතින් පුළුල් වී ඇති ක්ෂේත්‍රයන් බදු දැළට ඇතුලත් නොවීම මෙයට ප්‍රධාන ලෙස හේතුවක් ලෙස සලකන්නට පුළුවන.

ආයතන හෝ වේවා, පුද්ගලයින් හෝ වේවා, උදාහරණයක් හැටියට වෛද්‍යවරුන් ගත හැක. ඒ වගේම සංචාරය ව්‍යාපාරය දෙස බැලූ විට එවැනි බොහෝ තැන් අද බිහි වී තිබේ. ඒ තැන් වලින් අපි බදු එකතු කරන්නේ නැත. ඒකෙන් තේරෙන්නේ බදු එකතු කරගතයුතු කොටස පුලුල්කරගෙන නැතිබව ය. ඒ ප්‍රශ්නය වසර කිහිපයක් තිස්සේම තිබෙන ප්‍රශ්නයක් වන අතරම වරින් වර අපි බදු වැඩි කිරීමක් හෝ අඩුකිරීමක් කිරිම හැර බදු ක්ෂේත්‍රයේ ඊටවඩා නවිකරණයක් සිදු වී නැත. එක්කෝ මෝටර් රථ වාහන වලට බදු වැඩි කරති. නැත්නම් අඩුකරති. මේ නිසා අර බදු පුළුල් කිරීම කෙරෙන්නේ නැත. රටක ආර්ථිකය සංවර්ධනය කිරීමත් සමගම ආර්ථිකයේ සිදුවන එක එක ආර්ථික කටයුතු පුළුල්වීමත් එක්කම මේ බදු දැළ ද පුළුල්කල යුතුව තිබේ. ආණ්ඩුව ඒකට මහන්සිවන්නේ නැති ව, මේ වැට් එක මගින් කරන බදු අඩුකිරීම් සහ වැඩිකිරීම් රටක ආර්ථිකයේ සෞඛ්‍යට යහපත් නැත.

දැන් වැට් සහ ආනයන බදු ගැන ප්‍රථමයෙන් බැලිය හැකි. එම බදු වර්ග දෙක පනවන්නට පහසු මෙන් ම එකතු කරගැනීමට ද පහසු ය. ආනයනය කළ වාහනයක් වරායට පැමිණි පසු ඒකට 200%.ක බද්දක් අයකර ගනිති. ඒ බද්ද ඉතා පහසුවෙන් එකතු කරගත හැක. වැට් එකත් එසේම පහසුවෙන් එකතුකර ගතහැකි බද්දකි. වෙළඳ සැලකට ගොස් මොකක් හරි භාණ්ඩයක් ගත්තාම ඉබේම ඒ බද්ද අයකර ගන්නට පුළුවන. තමන් පාරිභෝගිකයෙක් හැටියට භාණ්ඩ මිල වැඩි වී ඇති බව දැනෙන්නට පුළුවන් වන නමුත් සමහර වෙලාවට තමන් බද්දක් ගෙවා ඇති බව එම පාරිභෝගිකයාට දැනෙන්නේ නැත. ආණ්ඩුවකට ඒවගේ දේ කරන්නට පහසු ය. ඇත්ත වශයෙන්ම බදු පනවන්නට පහසු මෙන්ම එකතු කරන්නට පහසු තැනට අවධානය යොමු කරමින් බදු වැඩිකරන එකයි දිගින් දිගටම ආණ්ඩු කරන්නේ. තවත් උදාහරණයක් ලෙස ටෙලිකොම් ගතහැක. දැන් දුරකථන ගාස්තු වලට එකතු කරන බද්ද වැඩිකර තිබේ. දැන් කීදෙනෙක් මොබයිල් ෆොන් පාවිච්චිකරනවා ද බලන්න. පාරිභෝගිකයෙක් හැටියට අපි මේ බද්දක් ගෙවනවා කියන එක ඒ අයට ද දැනෙන්නට ද නොපුලුවන. ඒගේ දේවල් කරන්නට ආණ්ඩුවට ඉතා පහසු ය. බදු ප්‍රතිසංස්කරණය කරන්නේ නම් කරන්නට පහසු දේ ම නොව අවශ්‍ය මෙන්ම කළයුතු දේ කළයුතු ය.

මේ තත්තවය තුළ අපිට හිතලා බලන්නට වෙනවා අපි මෙහෙම ද ඉදිරියට යන්න ඕනනේ කියලා. සංවර්ධනය වෙමින් පවතින රටක්, නැතිනම් දියුණු වෙමින් පවතින රටක් නම් මේ බදු දැළ පුළුල් කරන්නේ කෙසේද යන්න අපි අධ්‍යනය කළයුතු ය. විශේෂයෙන්ම මම කියන්නේ රටේ සමස්ත බදු ප්‍රතිපත්තිය මෙන්ම විශේෂයෙන්ම සෘජු බදු ප්‍රතිපත්තියේ පුළුල්වීමක් වෙන්නට අවශ්‍ය ය. රටේ බදුවලින් 70ක් හෝ එයට ටිකට වඩා වැඩි ප්‍රමාණයක් අපි එකතු කරන්නේ වක්‍ර බදු වලිනි. තව ද සෘජුබදු වලින් එකතු වන්නේ 20%ක් පමණ ප්‍රමාණයකි. දියුණු වෙමින් පවතින රටක් අය කරන බදු 70%ක් , 80%ක් 30%ක් වැනි එහෙම තුලණයක තබාගන්නට නොහැක. මක් නිසා ද යත්, වක්‍රබදු වලින් පහර වදින්නේ සමාජයේ දුප්පත් මිනිසාට ය. ප්‍රතිශතයක් ලෙස ගතහොත්, ඉහළ ආදායම් ලබන අයට බද්දක් ගෙවන්නට සිදුවේ. වැට් බද්ද ගතහොත් එය සියලු දෙනාටම එක ආකාරයටම බලපානු ලැබේ. පසුගිව වසර 35ක පමණ කාලයක් තුළ අපේ බදු ප්‍රතිපත්තියේ ස්වරූපය එසේ ඒකාකාරි ය.

නමුත් එකී කාලය තුළ විශාල වශයෙන් අපගේ ආර්ථික ක්ෂේත්‍රය පුළුල් වී ඇති බව අපි අමතක නොකළ යුතු වේ. හැබැයි ඒ ක්ෂේත්‍රය කලින් තිබූ ක්ෂේත්‍රයන්ට වඩා වෙනස් වෙනවා පමණක් නොව බදු අය කිරීමේ ආකාරය මෙන්ම ක්‍රමය ද ඉතාමත් වෙනස් ය. දැන් බලන්න. අපේ තේ, රබර්. පොල් වැනි වතු ආර්ථිකයක් තිබිය දී විශාල සමාගම් වලින් ඉතා පහසුවෙන් ම බදු අය කරගැනීමට හැකි විය. එදා එවැනි ආයතන රටේ කියක් තිබෙන්නේ ද යන්න අපි දැනගෙන සිටියෙමු. ඒ ඒ ආයතන වලින් කොපමණ භාණ්ඩ පුමාණයක් අපනයනය වුයේ ද යන්න ඉතාමත් පහසුවෙන් දැනගැනීමේ හැකියාව තිබුණි. එදා රාජ්‍ය ආදායම එකතු කළ විශාලම ක්ෂේත්‍රය වූයේ ද එම ක්ෂේත්‍රය වේ. දැන් වෙන විට ඒ තත්ත්වය බොහෝ සේ වෙනස් වී ඇතිවා පමණක් නොව ආර්ථික කටයුතු ද වෙනස් වී ඇත. සමස්තයක් ලෙස ආර්ථිකය පුළුල්වී ඇති නමුත් අපි බදු අයකරන ක්‍රමය නැතිනම් බදු පරිපාලනය ඒ සමගම පුළුල් වී ඇති ක්ෂේත්‍රයට අදාළවන ආකාරයට එය වර්ධනය වී නැතිවා පමණක් නොව සූක්ෂම වී ද නැත. දැන් සිදුවන ආර්ථික කටයුතු පෙර පැවති තත්ත්වයට වඩා බොහෝ ලෙස සිදුවන්නේ ඉතා සූක්ෂම ලෙස ය.

දැන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ඇත්ත වශයෙන්ම බදු එකතු කරනවා ද යන්න හරියටම කියන්නට මා දන්නේ නැත. එක උදාහරණයක් ලෙස ගතහොත් අන්තර් ජාලය යොදාගන්නා විශාල ව්‍යවසායකයින් ප්‍රමාණයක් මේ රටේ බිහි වී ඇත. දැන් සංචාරක කර්මාන්තය වුනත් කොළඹ හෝටල්වල නොවෙයි බොහෝ සංචාරකයින් නවාතැන් ගන්නේ. බොහෝ විට ඔවුන් ඇවිත් සිටින්නේ අන්තර් ජාලයෙන් සොයාගත්ත තැන්වලට ය. දැන් මේවායෙන් අපි බදු අය කරන්නේ ද? අප මේවාට බදු අය කරන්නේ නැති නම් මේවායෙන් බදු අය කරන්නේ කෙසේ ද යන්න සොයා බැලියයුතු වේ. මෙවැනි ස්ථාන දැන් බොහෝ දුරට ලියාපදිංචි වී තිබෙන්නේ අන්තර් ජාලයේ පමණි. එසේ නැතිව මේවායින් ඇතැම් විට බොහෝ ප්‍රමාණයක් රජයේ ලියාපදිංචි වී නැති බවයි මා සිතන්නේ. නමුත් මේවාගේ තැන් විශාල සේවාවක් පසයන ස්ථානයන් බව අපි අමතක නොකළ යුතු ය.

ඒ නිසා දැන් අපේ අරමුණ වියයුත්තේ බදු අය කිරීම පිළිබඳව වගකිව යුතු ආයතන තවතවත් සූක්ෂම කිරීම ය. මක් නිසා ද යත්, පුළුල් වී තිබෙන ආර්ථික කටයුතු හා සමානව බදු එකතුකරන ආයතන තවමත් එවැනි තැනකට පැමිණ නැත. දත්ත හා සංඛ්‍ය ලේඛණ දෙපාර්තමේන්තුව කරඇති සම්ක්ෂණයන්ට අනුව රටේ ඇති පෞද්ගලික ව්‍යවසායන්ගෙන් ඉතාමත් කුඩා, නැත්නම් ක්ෂූද්‍ර මට්ටමේ එනම් සේවකයින් 5ට අඩු සහ කුඩා හා මධ්‍යම පරිමාණ ආයතන ද එකතු කළ පසු 99%ක් තිබෙන්නේ පුද්ගලික ආයතන වේ.
එම ආයතන වලින් සියයට කීයක අපි ආදායම් බදු එකතු කරන්නේ ද? අනික් අතට බදු අය කරන ආකාරය එහෙමත් නැත්නම් නීති රීති පනවන ආකාරය නිසා එම ආයතන විධිමත් නොවී අවිධිමත් මට්ටමේ ම පවත්වාගෙන යෑම අපිට විශාල ප්‍රශ්නකි. සුළු හා මධ්‍යම කර්මාන්ත සම්බන්ධයෙන් පර්යේෂණ කරන විට පෙනී යන දෙයක් තමයි ගොඩක් ආයතන කැමති නෑ බදු ගෙවීම සඳහා ලියාපදංචි වන්නට. කම්කරු අමාත්‍යාංශයේ ලියාපදිංචි වන්නට ද ඔවුන් කැමති නැත. අනික් අතට එම ආයතන ව්‍යවසායකයින්ට රුකුලක් වන ආකාරයට නොවෙයි ක්‍රියාකරන්නේ. ඒ නිසා ලියාපදිංචි නොවී අවිධිමත් ආකාරයට ඉන්නට තමයි ඒ අය කැමති වන්නේ. මෙවර අයවැයෙන් හැම ආයතනයක්ම වර්ෂයකට රුපියල් 60.000ක් ගෙවියයුතු බවට නියමක් කළේ ය. එපමණක් නොව ඒ ආකාරයේ යම් ආයතනයක් වහන්නේ නම් ලක්ෂ 2 1/2ක් ගෙවිය යුතු බවට වූ නියමයක් ද කර ඇත. මගේ ව්‍යාපාරය අසාර්ථක වී වසා දමන විට වෙන පාඩුවට අමතරව වසන ගාස්තුව ලෙස ලක්ෂ දෙකහමාරක් ගෙවන්නට වෙන්නේ නම් මම කවදාකවත් එම වෙළඳම ලියාපදිංචි කරන්නේ නැත. එතන දි මා හිතන්නේ ලියාපදිංචි නොකර අවිධිමත් ලෙස ව්‍යාපාරය පවත්වාගෙන යැම තමන්ට වාසිදායක බව ය. දැන් මෙහෙම වෙනවිට එය ආදායම් බදු එතකු කිරීමට ද බාධකයක් වේ. ඉතා කුඩාවට අවිධිමත්ව ව්‍යාපාර පවත්වාගෙන යන අය විධිමත් කිරීමට බාධා පමණුවන ආකාරයේ කුඩා නමුත් බොහෝ දේ බලධාරී හූ කරති. සෘජු බදු දැල පුළුල් කිරීමට මෙවැනි දේ බාධාවන් ඇතිකරන බවයි මට පෙනෙන්නේ.

දැන් ලංකාවේ තිබෙන විශාලම සේවා අංශයක් වන්නේ අයි. සී. ටි. ක්ෂේත්‍රය ය. දැන් අපේ සේවා අංශය සම්පූර්ණ ආර්ථිකයෙන් 60%ක් පමණ වේ. උප කුලකයන් ගතහොත් මේ ක්ෂේත්‍රයේ බැංකු හා මූල්‍ය ක්ෂ්ත්‍රයට අමතරම තොග සහ සිල්ලර ක්ෂේත්‍රයට ලබාදෙන සේවාවන් මෙන්ම ගමනා ගමනයට ද ඒ මගින් සේවා සැපයේ. මේ ක්ෂ්ත්‍රයෙන් ඉතාමත් හොඳින් බදු අයකර ගැනීමට හැකිවී තිබෙන්නේ බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රය තුළිනි. මේ අංශ දෙකම ලියාපදිංචි වී තිබිම එයට ප්‍රධාන හේතුවකි. ඒ අංශයට සෑම වසරකම බදු ප්‍රතිශතය වැඩි කෙරේ. මේ වසරේ ද 30%ක් වැඩිකර ඇත. සේවා ක්ෂේත්‍රයේ අනික් උපකුලකයන්ගෙන් බදු එකතු කිරීම ඉතා අමාරු වී ඇත. දැන් බලන්න වැට් බද්ද දෙස. වසර දෙකක් නැත්නම් 3ක් පමණ වෙනතුරු එය තොග සහ සිල්ලර අංශයට ව්‍යාප්ත කර තිබුණේ නැත. ඒ අවස්ථාවෙත් වැඩි කලේ සිල්ලර අංශයට නොව තොග අංශය දක්වා පමණි. මෙයින් කියන්නේ සම්පූර්ණ වෙළඳ දම්වැළ පුරාම ඒ වනතුරු වැට් බද්ද පනවා නොතිබුණු බව ය. ඒ කාලයේ දී ම මේ වැට් බද්ද සිල්ලර අංශය දක්වාම ව්‍යාප්ත වියයුතු බව බොහෝ ආර්ථික උගත් හූ පැවසූ හ. දැන් වසර 3කට පෙර විශේෂයෙන්ම සුපිරි වෙළඳ ආයතනවලට ඒ බද්ද ව්‍යාප්ත කළේ ය. දැන් භාණ්ඩ කිහිපයක් අතහැර සිල්ලර වෙළදාමට ද එම බද්ද පනවා තිබේ. මම ඉහලින් කියු අර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත බොහෝවිට සෘජු ආදායම් බද්දට හෝ වැට් බද්දට හසුවන්නේ නැත. ඇත්තටම ඒ අංශය මේ බදු දැළ ඇතුලට ගන්නට එතරම් පහසු නැත. නමුත් එය ඇතුලත් කරනීමේ ක්‍රමෝපායන් ඇත.
ඒ වගේම තමයි ඔය අයි. ටී කියන ක්ෂේත්‍රය. එය ජාත්‍යාන්තර ජංගම වෙළඳ ක්ෂේත්‍රය ලෙස හැඳින්වේ. ඒ ක්ෂේත්‍රය දැන් තිබෙන ආකාරයට නම් කෙසේවත් බදු දැළට ඇතුලත් කර ගැනීමට නොහැක.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s